අපගේ දැක්ම

"කාර්යක්ෂම දිස්ත්‍රික් පරිපාලනයක් තුලින් විශිෂ්ටතම මහජන සේවාවක් "



අපගේ මෙහෙවර

"ජනතා අවශ්‍යතා කාර්යක්ෂව,සාධාරණව,යුක්තිගරුකව හා මිත්‍රශීලීව ඉටුකරමින් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව මනා සම්පත් කළමණාකරණය හා සම්බන්ධීකරණය තුලින් දිස්ත්‍රික්කය තුළ තිරසාර සංවර්ධනයක් තහවුරු කිරීම."

හම්බන්තොට දිස්ත්‍රික්කය

හම්බන්තොට යන නම සෑදුන ආකාරය පිළිබඳව එන මත දෙකකි. එයින් වඩාත් ප්‍රචලිත මතය වනුයේ හම්බන් නැමති යාත්‍රා විශේෂය පැමිණියා වූ  තොටුපල හම්බන්තොට වූ බවයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ට අනුව මැලේ යාත්‍රාවන් මෙහි පැමිණි නිසා හම්බන්තොට යන නම මෙම මුහුදු තොටට ලැබී ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වන ප්‍රදේශය ලක් ඉතිහාසයේ ශේෂ්ට සංස්කෘතියකට හා ශිෂ්ටාචාරයකට පදනම් වූ භූමී භාගයක පිහිටි ඓතිහාසික රෝහණ රාජ්‍යයේ කොටසකි. ආර්ය ජනාවාස ඇති වීමට මේ ප්‍රදේශ පිළිබඳව ප්‍රාග් ඓතිහාසික තොරකුරැ එතරම් දක්නට නැතත් රාක්ෂ හා යක්ෂ යන නම් වලින් හැඳින්වූ දියුණු යයි සැලකිය හැකි ගෝත්‍රිකයන් දෙකොටසක් මෙහි වාසය කළ බවට සාක්ෂි ඇත.

නිවහල් ජාතියක් අදීන සභ්‍යත්වයක් හා නිර්මල බෞද්ධ සංස්කෘතියක් ගොඩ නැංවීමෙහි ලා මෙම ප්‍රදේශයන් ලද පිටිවහල විශාලය.

අනුරපුර හා පොලොන්නරු රාජධානී දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ට යටත් වූ අවස්ථා වල හෙළ උරැමය රුක ගැනීමට පෙරමුණ ගතතෝ රැහුණු නර විරැවෝය. දුටුගැමුණු, ධාතුසේන,විජයබාහු  වැනි නර පතියනට හෙළය එක් සේසත් කිරීමට උරදුන්නෝ රුහුණු ජනතාවය. බුදු සසුන විනාශ මුඛයට ගිය අවස්ථා වල එය ආරක්ෂා වූයේ රුහුණු වෙහෙර විහාර වලය. අනුරපුර රාජධානියේ ජනතාව සාගතයෙන් මුහුණ පෑ විට මෙන්ම ජාතික නිදහස තකා හෙළයන් සටන් වැදුන අවස්ථා වල ඔවුනට බත සැපයුනේ රුහුණේ කෙත් බිම් වලිනි. එම ශේෂ්ට රුහුණූ පුරවරයේ කොටසක් ලෙස හම්බන්තොට වැදගත් වේ. යටත් විජිත සමය ආරම්භයේ පෘතුගීසි පාලනයට නතු වූ යුගයේ ද උඩරට රාජ්‍ය ලුණු ලබාගත්තේ හම්බන්තොටින් බව සඳහන් වේ. බ්‍රිතාන්‍ය යුගයේදී හම්බන්තොට වරායක් වශයෙන්ද, නාගරික මධ්‍යස්ථානයක් වශයෙන් ද , තව දුරටතු දියුණු කරන ලදි. ඒ අනුව බ්‍රිතාන්‍යයෝ හම්බන්තොට නගරය තුළ කච්චේරියක්, රජයේ දෙපාර්තමේන්තු වල කාර්යාල රුසක් , පාසල් , පොලිස් ස්ථානයක්, රෝහලක් හා උසාවියක් ස්ථාපනය කොට එය දිස්ත්‍රික්කයේ ප්‍රධානම පරිපාලන  නගරය බවට පත් කළහ.

බ්‍රිතාන්‍ය යුගයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මුලාදෑනී වසම් 72 කින් යුත් බටහිර ගිරුවාපත්තුව වසම් 36 කින් යුත් නැගෙනහිර ගිරුවාපත්තුව හා වසම් 28 කින් යුත් මාගම්පත්තුව ලෙස කොටස් තුනකට බෙදී පැවතින මෙයින් භූමී ප්‍රමාණය අනුව විශාලත්වයෙන් වැඩිම වූයේ මාගම්පත්තුවයි.

ශ්‍රී ලංකාවේ ගිනිකොණ දිග සීමාව පිහිටා ඇති හම්බන්තොට දිස්ත්‍රික්කය විශාලත්වයෙන් වර්ග කි.මී. 2609 කි. මෙය දිවයිනේ මළු භූමි ප්‍රමාණයෙන් 1/25 පමණ වේ. දිස්ත්‍රික්කයේ උපරිම දිග කි.මී. 106 ක්ද උපරිම පළල කි.මී. 39 ක්ද වේ. දිස්ත්‍රික්කයට අයත්වන වෙරළබඩ තීරයේ දිග කි.මී. 151 කි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුළු භූමී ප්‍රමාණයෙන් ව.කි.මී. 11.5 ක්පමණ අභ්‍යන්තර ජලාශ වලින් වැසී ඇත.අක්ෂාංශ හා දේශාංශ පිහිටීම අනුව උතුරට 6.0 සිට 6.5 දක්වාද නැගෙනහිර දේශාංශ 80.6 සිට 81.7 දක්වා ද විහිදී ඇත. උතුරට මොණරාගල හා රත්නපුර දිස්ත්‍රික්කවලින්ද බටහිර මාතර දිස්ත්‍රික්කයෙන්ද දකුණට ඉන්දියන් සාගරයෙන්ද නැගෙනහිරට ඉන්දියන් සාගරයෙන් හා අම්පාර දිස්ත්‍රික්කයෙන්ද මෙම දිස්ත්‍රික්කයෙන්ද මෙම දිස්ත්‍රික්කය මායිම් වී ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති ස්වභාවධර්මයේ සුවිශේෂි දායාදයන් වන තංගල්ල ප්‍රා.ලේ. කොට්ඨාශයේ පිහිටි හුම්මානය හා සූරියවැව ප්‍රාදේශීය ලේකම් පිහිටි උණු දිය උල්පත් හා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උසන්ගොඩ ප්‍රදේශය මෙරට දක්නට ඇති දුර්ලභ භූ විද්‍යාත්මක ලක්ෂණයන්ය. අම්බලන්තොටින් ඔබ්බෙහි පිහිටි මදුනාගල නම් සුපතල ආරණ්‍ය සේනාසනයට නුදුරින් මේ උණුදියඋල්පත් පිහිටා ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලවහන රටාව ප්‍රධාන ගංගා සහ ස්වභාවික ජල මාර්ග 19 ක් පිහිටා ඇත. ඒවා පහත දැක්වේ.

ගංගාව

දිග (සැතපුම්)

සීනිමෝදර ඔය 5
කිරම ඔය 20
රැකව ඔය 4
ඌරුබොකු ඔය 26
කච්චිගල්ආර ඔය 13
වලවේ ගඟ 85
කරගන් ඔය 45
මලල ආර 34
ඇඹිලිගල් ඔය 85
කිරිඳි ඔය 73
දඹාවේ ආර 35
මහසිලාවේ ඔය 8
භූතව ඔය 8
මැණික් ගඟ 71
කටුපල ආර 11
කැරුන්ද ආර 16
නමඩගස් ආර 4
කරඹෙ ආර 3

මේ අතරින් වලවේ ගඟ, කිරිඳි ඔය, මැණික් ගඟ, ඌරැබොකු ඔය, හා කච්චිගල්ආර මෙන්ම දිස්ත්‍රික්කයේ නැගෙනහිර මායිමේ පිහිටි කුඹුක්කන් ඔය ද ප්‍රධාන ජල මාර්ග වේ. මාස් කන්නය හෙවත් ඊසාන දිග මෝසම් කාලයේදී (නොවැ -මාර්තු ) මෙම ගංඟාවල ජල මට්ටම ඉහළ යන අතර මාස් කන්නය හෙවත් නිරිත දිග මෝසම් කාලයේදී (මැයි - සැප්තැම්බර් ) ජල මට්ටම පහත බසී.

දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන වැව් හා අභ්‍යන්තර ජලාශ 13 න් විශාලතම වන්නේ රිදියගම වැව වුවද වැඩිම ජල ධාරිතාවක් අඩංගු වන්නේ මුරැතවෙල හා ලුණුගම්වෙහෙර යන ජලාශ වලය. වැඩි වැව් ප්‍රමාණයක් පිහිටා ඇත්තේ තිස්සමහාරාමය ප්‍රදේශය ආශ්‍රිතවය. දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන වශයෙන් වාරිමාර්ග සංවර්ධන යෝජනා ක්‍රම කිහිපයක් පසුගිය අවදියේ ක්‍රිය‍ාත්මක වී ඇත. උඩවලව සංවර්ධන ව්‍යාපාරය , කිරම ඔය ව්‍යාපාරය, ඌරැ බොකු ඔය ව්‍යාපාරය , ලියන්ගස්තොට ව්‍යාපාරය , රිදියගම ව්‍යාපාරය ,ලුණුගම්වෙහෙර ව්‍යාපාරය, මව් ආර ව්‍යාපාරය සහ කැකිරිඕබඩ ව්‍යාපාරය මේවා අතර වේ. දිස්ත්‍රික්කයේ ඇති ගොවි ජනපද ව්‍යාපාර වශයෙන් මහගල් වැව ,බඳගිරිය , බැරගම හා මුරැත වෙල ව්‍යාපාර දැක්විය හැකිය..

බටහිරින් කුඩාවැල්ලේ සිට නැගෙනහිර පට්ටනංගල දක්වා විහිදුන හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වෙරළ තීරය දර්ශනීය වෙරළබඩ ලක්ෂණ රැසකින් සමන්විත වේ. ඒ අතර තුඩු , කළපු ,බොකු ,වැලිපර මුහුදු දඹ  සහ  ගං මෝය වැනි ලක්ෂණ වැදගත්ය. ඊට අමතරව ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් වැදගත් වන වරාය, තොටුපල හා කළපු වලට විශේෂ ස්ථානයක් හිමි ‍වේ. කුඩාවැල්ල, තංගල්ල, හම්බන්තොට හා කිරින්ද වරායන් නවීන පහසුකම් සහිත ධීවර වරායන් ලෙස මේ වන විට සංවර්ධනය වී ඇත. ඊට අමතරව ධීවර කටයුතු කෙරෙන ධීවර කුඩා වරායන් සහ කළපු රැසක්ද ඇත. ජාතික ලුණු නිෂ්පාදනයට බෙහෙවින් දායක වන ලුණු ලේවායන් කිහිපයක්ද මෙම වෙරළ තීරයේ දක්නට ඇත. හම්බන්තොට මහ ලේවාය, කොහොලංගල ලේවාය හා පලටුපාන ලේවාය ඉන් ප්‍රදානය.

වියළි හා අර්ධ ශුෂ්ක දේශගුණික ලක්ෂණ බහුල මෙම දිස්ත්‍රික්කයේ පාරිසරික හා දේශගුණික විචල්‍යතාවය මොනවට පෙන්නුම් කරමින් තෙත් කලාපීය ලක්ෂණද මද වශයෙන් දක්නට ලැබේ. දිස්ත්‍රික්කයේ බටහිර සීමාවේ කඳු බෑවුම් දිගේ ඇද හැලෙන කුඩා දිය ඇළි කිහිපයක් ඇත. අඩි 40 ක් උස බිසෝගල හෙවත් සපුගහ දොළ ඇල්ල මේ අතරින් ප්‍රධාන වේ. ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.8 ක් වේ. මධ්‍ය වාර්ෂික වර්ෂාපතනයේ සාමාන්‍ය මි.මී. 111.1 කි.

පරිපාලනමය වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 12 කටද ග්‍රාම නිළධාරී වසම් 576 කටද බෙදා ඇත. ඊට අමතරව නගර සභා 02 ක්ද ප්‍රාදේශීය සභා 10 ක්ද මැතිවරණ කොට්ටාශ 04 ක්ද වේ. අනෙකුත් බෙදීම් යට‍ෙත් පොලිස් බල ප්‍රදේශ 13 ක්ද ,අධ්‍යාපන කලාප 03 ක්ද ,ගොවි ජන සේවා බල ප්‍රදේශ 16 ක්ද ,සෞඛ්‍ය වෙද්‍ය කොට්ටාශ 10 ක්ද දක්නට ලැබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ 2008 මුළු ජනගහනය 576268 ක් වන අතර එය පිරීම් 286074 ක් හා ගැහැණු 290194 ක් ලෙසද වේ. මේ අනුව ජන ඝනත්වය වර්ග කිලෝ මීටරයට 228.02 කි. ජාතීන් අනුව 98% ක් සිංහලද, 1% ක් දෙමළද ,1% ක් ශ්‍රී ලංකා යෝනකද වේ. ආගම අනුව 98% ක් බෞද්ධ ද ,2% ක් ඉස්ලාම් ද වේ. දිස්ත්‍රික්කයේ වී වගාවට අයත් මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 33670.13 ක් වේ. වී වගා කරන බිම් ප්‍රමාණයෙන් 76% ක්ම මහා වාරිමාර්ග වලින් පෝෂණය වේ. සත්ත්ව පාලනය අනුව මෙහි මීකිරි හා එළ කිරි නිෂ්පාදනය ද බහුලව සිදු වේ.

මෑත භාගයේ සිට ඉතා සීඝ්‍ර සංවර්ධනයක් කරා යොමු වී තිබෙන මෙම දිස්ත්‍රික්කයේ අනාගත සංවර්ධනය ඇහිය නොහැකි මට්ටමකට ඉහළ යනු ඇත. දැනට ක්‍රියාත්මක වන හම්බන්තොට ජාත්‍යන්තර වරාය ,අන්තර් ජාතික ගුවන් තොටුපල ,පරිපාලන සංකීර්ණය ,ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ,මහාවාරී යෝජනා ක්‍රම, නව දුම්රිය මාර්ගය ,අධිවේගී මාර්ග පද්ධතිය,ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය සහ සංචාරක ව්‍යාපෘති වලින් ලැබෙන පිටිවහල මගින් එම අනාගත සංවර්ධනය වඩ වඩාත් අර්ථවත් කරනු ඇත.

පුවත් සහ සිදුවීම්

31
දෙසැ2018

abaditha

07
දෙසැ2018

thilakawardana

08
නොවැ2018

TheWaffleFestival

08
නොවැ2018

Literaryfestival

09
ඔක්2018

Training Programe